Wednesday, June 27, 2018

අවසන් සක්විති රජු

මීට වසර දෙදහස් ගනනකට පෙර සක්විති රජ පදවිය පිලිබඳ කතිකාවතක් ඇති විය. එම බලාපොරොත්තුව සඵල කරගැනීමට තම කුල මානය පසෙකලූ එක් බලවත් පෙලපතක රජ කෙනෙක් තවත් බලවත් පෙලපතකින් විවාහයක් කර ගත්තේ ඔවුනට දාව ලැබෙන කුමරා නිතැතින්ම බලවත් රජ කෙනෙකු වන නිසාවෙනි.

මෙසේ ශාක්‍ය කෝලිය වංශිකයන්ගේ එක් වීමෙන් රජ කුමරෙකු බිහිවුනු නමුත් එතුමා පරම්පරාවෙන් උරුම රජකම හැර දමා සත්‍ය සොයා ගමනක් ඇරඹීය. එම ගමන අවසානයේ ලෝකය පිලිබඳ දතයුතු සියල්ල දැන අවසන් කල උන්වහන්සේ ගෝතම නමින් බුද්ධත්වයට පත්වූහ.

අවබෝධය තුලින් උපන් මහා කරුණාවෙන් ලෝක සත්වයාගේ හිත සුව පිනිස ගම් නියම් ගම් සිසාරා වැඩි උන්වහන්සේ දේශනා කල "ඔබ සියල්ල අත් හරින්න, එවිට ඔබට සියල්ල ලැබේවි" යන දහම සනාථ කරමින් උන්වහන්සේ අත්හල සක්විති රජ තනතුර උන්වහන්සේට නිතැතින්ම ලැබිනි.

උන්වහන්සේ යම් ප්‍රධාන රාජ්‍යයකට කුඩා රටකට හෝ ගමකට වැඩියා නම් එම ප්‍රදේශයේ ප්‍රධානියාගේ ආසනය නිතැතින්ම හිමි විය. ඔවුන් පාවඩ දමා පෙරහරින් උන්වහන්සේ තම බල ප්‍රදේශයට වඩම්මවාගෙන ආවෝය. උන්වහන්සේ එහි වැඩසිටින තාක් සියලු සත්කාර සම්මාන කිරීමට යුහුසුලු වූවෝය. එපමනක් නොව කෝටි ලක්ශයක් සක්වල භව තල 31 තුල උන්වහන්සේගේ අණසක පැතිර ගියේය.

උන්වහන්සේ රජුන්ටත් රජු විය, දෙවියන්ටත් දෙවි විය, බඹුන්ටත් බඹු විය. කොපමන ප්‍රභල උවත් ලෝකයේ සියලු දෙනා අවසානයේ මාරයා අතින් පරාජය ලබති. මහා චක්‍රවර්තී රජවරුන්ද දෙදෙව්ලොවට අදිපති ශක්‍රයාද බියෙන් මුසපත් කරවන ඒ මහා මාරයා පරාජය කලෝ අපගේ ගෝතම නම් බුදු රජානෝය.

No comments:

Post a Comment

ඔබේ වටිනා අදහස් මෙහි පලකරන්න