Wednesday, June 27, 2018

අනිත්‍ය ද අනිච්ච ද

හරි එක අනිත්‍ය ද නැත්නම් අනිච්ච ද?
මට තේරෙන විදියට

මෑත කාලයේ ලොකුවට වාද විවාද කරගන්න දෙයක් තමයි බුද්ධ දේශනයේ කියවෙන ත්‍රිලක්ශනයේ පලවෙනි ලක්ශනය වන අනිත්‍ය/අනිච්ච ලක්ශනය. කොටසක් කියනවා අපි ඉස්සර ඉඳන් ඉගෙන ගත්තු අනිත්‍ය කියන එක නෙමේ හරි වචනය අනිච්ච කියන එකයි කියල. තවත් කොටසක් මේ අදහසට විරුද්ධව කරුනු කාරනා කියනවා. මේ දෙපිරිස අතර වෙලාවකට මහා වාද විවාද ඇති වෙනවත් මම දැකල තියෙනවා.

එහෙනම් ඇත්තටම ඔය දෙපිරිසෙන් හරි දේ කියන්නේ කවුද?

උත්තරේ තමයි: දෙගොල්ලම හරි.

එහෙනම් මොකක්ද මෙතන වාද විවාද වෙන්න තරම් තියෙන ගැටලුව?

ගැටලුව තමා, තමුන් ගේ මතය හරි බවත් අන් මත වැරදි බවත් පූර්ව නිගමනයකට ඇවිත් විවෘත මනසකින් සොයා බැලීම පසෙක තබා තම මතය දිනවීමට උත්සාහ කිරීම.

මමත් සෑහෙන කාලයක් හිටියේ ඔය ගොඩේ තමයි!

එහෙමනම් මේ වචන දෙක අතර වෙනසක් ඇත්තේම නැද්ද?

අනිත්‍ය - නිත්‍ය නොවන බව/වෙනස් වන බව
අනිච්ච - කැමැත්තට අනුව නොපවතින බව

ඉස්සෙල්ලා මම කිවුවා මේ දෙකේම අර්ථය වැරදි නැති බව. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා.
ඒ වෙනස හම්බ වෙන්න නම් ත්‍රිලක්ශනයේ (අනිච්ච, දුක්ඛ, අනත්ත) අනිත් ලක්ශන දෙකත් සම්බන්ධ කරගෙන මේ ගැන පිරික්සන්න ඕන.
ලෝකයේ කොතනින් කඩල ගත්තත් ඒ හැම තැනකම තියෙන ලක්ශනයක් තමයි වෙනස් වන බව. ඒ වෙනස් වීම හැම මොහොතකම සිද්දවෙමිනුයි පවතින්නේ. බුදුහාමුදුරුවෝ නම් කියල තියෙන්නේ ලෝකය කියන්නේම දුක් ගොඩක් කියල. ඒත් යමක් අනිච්ච නම් එය දුක් සහිත බව (යද' නිච්චං තං දුක්ඛං) කියවෙනකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුලුවන් එහෙම නම් අපි අකමැති දෙයක් වෙනස් වෙනකොටත් ඒකත් දුකක් වෙනවද කියල. උදාහරණයක් විදියට කකුලේ තුවාලයක් තියෙන කෙනෙක්ගේ ඒ තුවාලය හොඳ උනොත්, ඒ කියන්නේ තුවාලය කියන එක වෙනස් උනොත් ඒක එයාට දුකක් වෙන්නේ කොහොමද කියන එක.

මෙතනදී තමයි අනිත් තේරුම වැදගත් වෙන්නේ. අපිට දුකක් තරහක් එන ඕනම වෙලාවක ඒකට හේතුව හොයල බැලුවොත් තේරෙනවා අපිට ඕන විදියට ඒ දේ සිද්ද නොවීම නිසයි අපිට දුක කියන එක ඇති උනේ කියල. උදාහරණයක් විදියට අර කලින් සුවපත් උනු තුවාලය නැවතත් ඇති උනොත් අපිට දුක එන්නේ අපි තුවාලය කියන සාධකයට අකමැති නිසයි. නමුත් අපිට කැමති විදියට නෙවෙයි ලෝකය පවතින්නේ.

එහෙනම් දුක නැති කරන්න නම් කරන්න ඕන ලෝකයේ වෙනස් වන ස්වභාවය නැති කරන එක නෙමෙයි. ඒක කරන්න පුලුවන් වැඩකුත් නෙමෙයි. දුක නැති කරන්න නම් කරන්න ඕන අපිට ඕන විදියට ලෝකය නොපවතින බව දැනගෙන, ඒ නිසාම ලෝකයට නොඇලී ලෝකය සමඟ නොගැටී ජීවත් වෙන්න උත්සාහ කරන එක.

ඔව්. ලෝකයේ ස්වභාවය අනිත්‍ය බව, නමුත් දුකට හේතුව අනිච්ච බව.

අවසන් සක්විති රජු

මීට වසර දෙදහස් ගනනකට පෙර සක්විති රජ පදවිය පිලිබඳ කතිකාවතක් ඇති විය. එම බලාපොරොත්තුව සඵල කරගැනීමට තම කුල මානය පසෙකලූ එක් බලවත් පෙලපතක රජ කෙනෙක් තවත් බලවත් පෙලපතකින් විවාහයක් කර ගත්තේ ඔවුනට දාව ලැබෙන කුමරා නිතැතින්ම බලවත් රජ කෙනෙකු වන නිසාවෙනි.

මෙසේ ශාක්‍ය කෝලිය වංශිකයන්ගේ එක් වීමෙන් රජ කුමරෙකු බිහිවුනු නමුත් එතුමා පරම්පරාවෙන් උරුම රජකම හැර දමා සත්‍ය සොයා ගමනක් ඇරඹීය. එම ගමන අවසානයේ ලෝකය පිලිබඳ දතයුතු සියල්ල දැන අවසන් කල උන්වහන්සේ ගෝතම නමින් බුද්ධත්වයට පත්වූහ.

අවබෝධය තුලින් උපන් මහා කරුණාවෙන් ලෝක සත්වයාගේ හිත සුව පිනිස ගම් නියම් ගම් සිසාරා වැඩි උන්වහන්සේ දේශනා කල "ඔබ සියල්ල අත් හරින්න, එවිට ඔබට සියල්ල ලැබේවි" යන දහම සනාථ කරමින් උන්වහන්සේ අත්හල සක්විති රජ තනතුර උන්වහන්සේට නිතැතින්ම ලැබිනි.

උන්වහන්සේ යම් ප්‍රධාන රාජ්‍යයකට කුඩා රටකට හෝ ගමකට වැඩියා නම් එම ප්‍රදේශයේ ප්‍රධානියාගේ ආසනය නිතැතින්ම හිමි විය. ඔවුන් පාවඩ දමා පෙරහරින් උන්වහන්සේ තම බල ප්‍රදේශයට වඩම්මවාගෙන ආවෝය. උන්වහන්සේ එහි වැඩසිටින තාක් සියලු සත්කාර සම්මාන කිරීමට යුහුසුලු වූවෝය. එපමනක් නොව කෝටි ලක්ශයක් සක්වල භව තල 31 තුල උන්වහන්සේගේ අණසක පැතිර ගියේය.

උන්වහන්සේ රජුන්ටත් රජු විය, දෙවියන්ටත් දෙවි විය, බඹුන්ටත් බඹු විය. කොපමන ප්‍රභල උවත් ලෝකයේ සියලු දෙනා අවසානයේ මාරයා අතින් පරාජය ලබති. මහා චක්‍රවර්තී රජවරුන්ද දෙදෙව්ලොවට අදිපති ශක්‍රයාද බියෙන් මුසපත් කරවන ඒ මහා මාරයා පරාජය කලෝ අපගේ ගෝතම නම් බුදු රජානෝය.

Monday, May 7, 2018

කුන්ඩලිනී ශක්තිය

මිනිස් සිරුරේ කොඳුනාරටිය ඇසුරු කරගෙන දිවෙන ශක්ති කදම්බයක් ඇත. යිං යැං/ චී ශක්තිය /කුන්ඩලිනී ශක්තිය ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මෙම ශක්ති කදම්බයේ, ශක්තිය එක් රැස් වන ප්‍රධාන ස්ථාන හතක් ඇත. මේවා චක්‍ර ලෙස හඳුන්වයි.
මෙම චක්‍ර පුබුදුවාගෙන තමන්ට අවශ්‍ය ආකාරයෙන් මෙහෙයවීම මගින් විවිධ ආකාරයේ ඵල ප්‍රයෝජන ලබා ගත හැක. මෙම චක්‍ර උපරිමයෙන් දියුනු කරගෙන, තමන්ට අවශ්‍ය ආකාරයෙන් වර්තනය කරගෙන මේ පොලව පාලනය කල රජ වරු, චක්‍රවර්තී රජවරුන් ලෙස හැඳින්විණි.
ඉතිහාසය දෙස බැලීමේදී බුද්ධ ධර්මය විවර වන සෑම කාලයකටම පෙර චක්‍රවර්තී රජ කෙනෙක් හෝ රජ පරපුරක් බිහිවී පරිසරය ඊට සුදුසු ලෙස සකස් කල බව පෙනේ. කෝනාගමන බුදුපියාණන් ගේ කාලයට සමගාමීව මහසෙන් මහ රජු/ස්කන්ධ කුමාර/කතරගම දෙවියනුත් කාශ්‍යප බුදුපියාණන් ගේ කාලයේ යඝු කෞරාණ මණ්ඨක/රාවණ මහ රජුත් ගෞතම බුදුපියාණන් කල පණිත නම් මහ රජුත් මෙසේ රාජ්‍ය කල අතර මයිත්‍රී බුදුපියාණන් කල සංඛ නම් චක්‍රවර්තී රජු රජසැප හැර මහණ වී අර්හත්වය ලබන බව සඳහන් වේ.
(චක්‍රවර්තී රජවරුන් අතර සමානකම් නොදන්නා බැවින්ම කඳ කුමරුන් හා රාවණයන් එක් අයෙකැයි පවසා තිබෙනු දුටුවෙමි !!!)