හරි එක අනිත්‍ය ද නැත්නම් අනිච්ච ද?
මට තේරෙන විදියට
මෑත කාලයේ ලොකුවට වාද විවාද කරගන්න දෙයක් තමයි බුද්ධ දේශනයේ කියවෙන ත්‍රිලක්ශනයේ පලවෙනි ලක්ශනය වන අනිත්‍ය/අනිච්ච ලක්ශනය. කොටසක් කියනවා අපි ඉස්සර ඉඳන් ඉගෙන ගත්තු අනිත්‍ය කියන එක නෙමේ හරි වචනය අනිච්ච කියන එකයි කියල. තවත් කොටසක් මේ අදහසට විරුද්ධව කරුනු කාරනා කියනවා. මේ දෙපිරිස අතර වෙලාවකට මහා වාද විවාද ඇති වෙනවත් මම දැකල තියෙනවා.
එහෙනම් ඇත්තටම ඔය දෙපිරිසෙන් හරි දේ කියන්නේ කවුද?
උත්තරේ තමයි: දෙගොල්ලම හරි.
එහෙනම් මොකක්ද මෙතන වාද විවාද වෙන්න තරම් තියෙන ගැටලුව?
ගැටලුව තමා, තමුන් ගේ මතය හරි බවත් අන් මත වැරදි බවත් පූර්ව නිගමනයකට ඇවිත් විවෘත මනසකින් සොයා බැලීම පසෙක තබා තම මතය දිනවීමට උත්සාහ කිරීම.
මමත් සෑහෙන කාලයක් හිටියේ ඔය ගොඩේ තමයි!
එහෙමනම් මේ වචන දෙක අතර වෙනසක් ඇත්තේම නැද්ද?
අනිත්‍ය - නිත්‍ය නොවන බව/වෙනස් වන බව
අනිච්ච - කැමැත්තට අනුව නොපවතින බව
ඉස්සෙල්ලා මම කිවුවා මේ දෙකේම අර්ථය වැරදි නැති බව. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා.
ඒ වෙනස හම්බ වෙන්න නම් ත්‍රිලක්ශනයේ (අනිච්ච, දුක්ඛ, අනත්ත) අනිත් ලක්ශන දෙකත් සම්බන්ධ කරගෙන මේ ගැන පිරික්සන්න ඕන.
ලෝකයේ කොතනින් කඩල ගත්තත් ඒ හැම තැනකම තියෙන ලක්ශනයක් තමයි වෙනස් වන බව. ඒ වෙනස් වීම හැම මොහොතකම සිද්දවෙමිනුයි පවතින්නේ. බුදුහාමුදුරුවෝ නම් කියල තියෙන්නේ ලෝකය කියන්නේම දුක් ගොඩක් කියල. ඒත් යමක් අනිච්ච නම් එය දුක් සහිත බව (යද' නිච්චං තං දුක්ඛං) කියවෙනකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුලුවන් එහෙම නම් අපි අකමැති දෙයක් වෙනස් වෙනකොටත් ඒකත් දුකක් වෙනවද කියල. උදාහරණයක් විදියට කකුලේ තුවාලයක් තියෙන කෙනෙක්ගේ ඒ තුවාලය හොඳ උනොත්, ඒ කියන්නේ තුවාලය කියන එක වෙනස් උනොත් ඒක එයාට දුකක් වෙන්නේ කොහොමද කියන එක.
මෙතනදී තමයි අනිත් තේරුම වැදගත් වෙන්නේ. අපිට දුකක් තරහක් එන ඕනම වෙලාවක ඒකට හේතුව හොයල බැලුවොත් තේරෙනවා අපිට ඕන විදියට ඒ දේ සිද්ද නොවීම නිසයි අපිට දුක කියන එක ඇති උනේ කියල. උදාහරණයක් විදියට අර කලින් සුවපත් උනු තුවාලය නැවතත් ඇති උනොත් අපිට දුක එන්නේ අපි තුවාලය කියන සාධකයට අකමැති නිසයි. නමුත් අපිට කැමති විදියට නෙවෙයි ලෝකය පවතින්නේ.
එහෙනම් දුක නැති කරන්න නම් කරන්න ඕන ලෝකයේ වෙනස් වන ස්වභාවය නැති කරන එක නෙමෙයි. ඒක කරන්න පුලුවන් වැඩකුත් නෙමෙයි. දුක නැති කරන්න නම් කරන්න ඕන අපිට ඕන විදියට ලෝකය නොපවතින බව දැනගෙන, ඒ නිසාම ලෝකයට නොඇලී ලෝකය සමඟ නොගැටී ජීවත් වෙන්න උත්සාහ කරන එක.
ඔව්. ලෝකයේ ස්වභාවය අනිත්‍ය බව, නමුත් දුකට හේතුව අනිච්ච බව.